History

පාසලේ ඓතිහාසික විකාශය

විසිවන සියවස ආරම්භ වන විට අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවෙන් තැලී මිරිකෙමින් සිටි ශ්‍රී ලාංකික ජාතිය අධිරාජ්‍යවාදයට අභියෝග කිරීමේ නොනිමි ආශාවෙන් පෙළුණද ඒ සඳහා බාහු බලය පමණක් ප්‍රමාණවත් නොවන බව අතලොස්සක් වූ ලාංකික බුද්ධිමතුන් අවබෝධ කරගෙන සිටියහ. අධිරාජ්‍යවාදයට ගැතිකම් කරමින් සිටි කළු සුද්දන් පමණක් මිෂනාරි පාසල් පද්ධතිය තුලින් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබා සුද්දාගේ සිවිල් පරිපාලනයට සහය වෙමින් සුද්දාද අභිබවා ශ්‍රී ලාංකික ගොවි කම්කරු ජනතාව තව තවත් පීඩාවට පත් කරමින් යෙහෙන් වැජඹුණි. මෙකී සන්දර්භය තුල සුද්දාට අභියෝග කිරීමේ ගොවි කම්කරු බලවේගය උඩරටින් ගොඩනැගීමේ ප්‍රයත්නය පෙරදැරිව 1917-06-09 දින ඓතිහාසික කොත්මලේ පුරවරයේ නියම්ගම්දොර ඹ්තලාව ග්‍රාමයේ කුඩා වතු බංගලාවක පිරිමි ළමුන් 60ක් සහ එක් මොනිටර් ගුරුවරයෙක් සමගින් මෙම පාසල ආරම්භ විය.

 

කොත්මලේ ප්‍රජාව හදවතින් වැලඳගත් මෙම පාසල වසරක් ඉක්මයත්ම විශාල දියුණුවක් ලබමින් අතු රිකිලි දමමින් දැවැන්ත පාසල් පද්ධතියක් වන පෙර නිමිති පෙන්නුම් කලහ. ඒ අනුව 1919-03-12 වන දින සංගිලිපාලම ග්‍රාමයේ අභිනවයෙන් ඉදිකල පාසලේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන ලදී.

 

1922 පමණ වන විට පිතෘ මූලික සමාජ ක්‍රමයට විකල්පයක් වෙමින් කාන්තාවද දිරියෙන් වීරියෙන් පිරිමින් හා උරෙනුර ගැටී පුරුෂ ආර්ථික ආධිපත්‍යයට අභියෝග කරන්නට විය. ඒ අනුව ගැහැණු දරුවන්ටද අධ්‍යාපන අයිතිය ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස 1922-05-01 දින මෙම පාසල මිශ්‍ර පාසලක් බවට පත්වී එක් උප ගුරුවරියක් යටතේ අධ්‍යාපන කටයුතු ආරම්භ කෙරුණි. ආරම්භයේදී පහල බාලාංශයේ සිට 7 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වූ අතර ක්‍රමයෙන් භෞතික හා මානව සම්පත් වර්ධනය වෙමින් 1945 පමණ වන විට මහ විදුහලක් තරමට දියුණු විය. 1965 සිට පාසලේ ප්‍රාථමික අංශය සහ ද්විතියික අංශය වෙන වෙනම ක්‍රියාත්මක වූ අතර 80 දශකයේ මහවැලි සංවර්ධන යෝජනාක්‍රමයක් සමග සංගිලිපාලම පාසල එම ස්ථානයෙන් ඉවත්කර අභිනවයෙන් ඉදිකල කොත්මලේ නව නගරයේ පිහිටුවන ලදී. ඒ අනුව මෙම පාසල 1990-03-10 දින නිල වශයෙන් කොත්මලේ මහා විද්‍යාලය නමින් ආරම්භ කරන ලදී.

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1999 නොවැම්බර් මස 27 වන දින මෙම පාසල ජාතික පාසලක් බවට පත් විය. මහවැලි යෝජනා ක්‍රමයේ පීතෘ වූ ගාමිණී දිසානායක මැතිතුමා හට උපහාරයක් ලෙස 2003-04-11 දින සිට ගාමිණී දිසානායක ජාතික පාසල ලෙස නම් තැබීමට යෙදුණි.

 

2002 වර්ෂයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පංති අරම්භ කළ අතර 2007 දී උසස් පෙළ විද්‍යා ගණිත ඉංග්‍රීසි මාධ්‍ය අංශයද අරම්භ කරන ලදී. ඒ අනුව 6 – 13 ශ්‍රේණි දක්වාම ඉංග්‍රීසි මාධ්‍ය පංති අරම්භ කළ පළමු පාසල බවට පත් විය.

 

වර්තමාන තත්ත්වය

අධ්‍යාපන අමාත්‍යංශයේ නව ව්‍යාපෘතියක් වන ද්විතියික පාසල් සංවර්ධනය කිරීමේ සංකල්පය යටතේ සංවර්ධනය කරනු ලබන පාසලක් හැටියට මෙම විද්‍යාලය තෝරාගෙන ඇත. 2012 වර්ෂයේ සිට පාසල් 1000 ව්‍යාපෘතිය ක්‍රියාත්මක පාසලක් ලෙස තවත් ඉදිරි යෝධ පියවරක් තබමින් කොත්මලේ කලාපයේ උසස් පෙළ තාක්ෂණික විෂය අරම්භ කළ පළමු පාසල බවට පත් වෙමින් ඉදිරි ගමන අරම්භ කර ඇත. 2013 වර්ෂයේ ද්විතියික පාසල් සංකල්පය මත මහින්දෝදය තාක්ෂණාගාරය ගෙඩනංවා එය සිසු අයිතියට පත් කර ඇත අතර උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව අරම්භ කර ඇති පාසලක් ලෙස තාක්ෂණ පීඨයද සිසු අයිතියට පත් කිරීමට නියමිතව ඇත. තවද ද්විතියික පාසල් සංකල්පය යටතේ ප්‍රාථමික අංශය සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

 

වර්තාමානය වන විට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් අධ්‍යාපනය සිදුකරමින් උසස් පෙළ කලා, වාණිජ, විද්‍යා, භාෂා හා තාක්ෂණික අංශයන්ගෙන් රටට වැඩිදායී පුරවැසියන් බිහිකරමින්, විශ්වීය දරුවන් තනමින්, නොනිමි මෙහෙවරක යෙදෙන ගාමිණී දිසානායක විදුහල් මාතාව, කොත්මලයෙන් ඔබ්බට ගොස් නුවරඑළියටත්, ඉන් නොනැවතී ලක්මවගේත්, ආභරණයක් බවට පත්වී හමාරය.